Tuesday, July 10, 2012

සීගිරියෙන් බඹරු පන්නා දැමිය හැකිද?



බොහෝ ඉස්‌සර කාලයේ දී සීගිරිය අවට ප්‍රදේශවල විසුවේ ආදී මානවයින්ය. ඒ බව පුරා විද්‍යාඥයන් විසින් කරන ලද කැණීම් පර්යේෂණවලින් හෙළි වි ඇත. සීගිරිය අසල පොතාන ගල් ලෙනෙහි කරන ලද පර්යේෂණ වලින් වසර 10000 කට පමණ එපිට ජීවත් වූ මානවයන් පිළිබඳව සාදක සොයා ගන්නා ලදී.
ආදි මානවයන්ට සීගිරිය ගල් පර්වතය ඉතාම වටිනා ස්‌ථානයක්‌ වන්නට ඇත. ඔවුන් සීගිරිය ගල මතට නැග අවට සිරි නරඔන්නට ඇත. ඊට අමතරව වෙනත් ප්‍රදේශවල සිටි ඔවුන්ගේ පරම්පරාවේ කණ්‌ඩායම් සමග පණිවිඩ හුවමාරු කරගන්නත් ඇත. සතුන්aගේ චර්යා රටාවන් සහ සතුන් ගමන් කරන මං මාවත් පිළිබඳවත් සොයා බලන්නට ඇත. ඊට අමතරව බඹර පැනි ලබා ගැනීම සදහා සීගිරි ගලේ තිබූ බඹර කපා ගන්නටත් ඇත.
සීගිsරිය අසල තිබෙන පිදුරංගල ගල මතට අද ද පහසුවෙන් ගමන් කළ හැකිය. අතීතයේදී සීගිරිය ගල මතට ද එසේ ගමන් කළ හැකිව තිබුණා විය හැකිය. එසේ පහසුවෙන් ගමන් කළ නොහැකි වූ වා නම් අපහසුවෙන් හෝ සීගිරිය ගල මතට නගින්නට ආදි මානවයන් පසුබට වන්නේද නැත.
කෘමි සතුන් පරිණාමය වූයේ මිනිසාටත් කලින් ය. බඹරුන් කෘමි සතුන්ය. බඹරුන් පදිංචිය සඳහා තෝරා ගන්නේ නොතෙමෙන උස්‌ තැන්ය. ගල් පර්වත යට නොතෙමෙන තැන් ඇත. සීගිරිය ගලේ ඊසාන දෙසින් සිංහ පාදයට ඉහළිsන් ඇති තිරස්‌ ගලේද එවැනි නොතෙමෙන තැන් ඇත. මෙහි බඹර වද 20 ක්‌ පමණ දැකිය හැකිය. බඹරුන් එම ස්‌ථානය තෝරා ගත්තේ විශේෂ හේතු නිසා විය හැකිය. අපට දැනෙන ආකාරයට එම හේතු වැස්‌සෙන් ආරක්‌ෂා වීම විය හැකිය. අප නොදන්නා තවත් බොහෝ හේතු තිබිය හැකිය.
මෙම බඹර වද බොහෝ ඈත අතීතයේ පටන්ම තිබෙන්නට ඇත. එසේ උපකල්පනය කළ හැක්‌කේ සතුන්ගේ චර්යා රටාවන් කාලයෙන් කාලයට වෙනස්‌ නොවන නිසාය. උදාහරණයක්‌ ගෙන මෙය පැහැදිලි කළ හැකිය. අලින් ගමන් කරන මං මාවත් ඇත. කුමන ආකාරයේ සංවර්ධන වැඩසටහන් දියත් කළද අලින් ගමන් කරන්නේ උන්ගේ සංචාරක මංමාවත් හරහා පමණි. මේ ආකාරයට සියලුම සතුන් ඔවුනට ආවේණික වූ මංමාවත් හරහාම පමණක්‌ ගමන් කරයි. සතුන්ගේ සංචරන මංමාවත් නිර්මාණය වන්නේ ආහාර සහ ජලය නමැති අත්‍යවශ්‍ය සම්පත් ලබා ගැනීම අරමුණු කරගෙනය. මී මැස්‌සන් සහ බඹරුන් හටද සංචරන මාවත් ඇත. එම සංචරන මාවත්වල මාර්ගය තීරණය වන්නේ මල් පිපෙන කාලය සහ ප්‍රදේශ මතය.
සොබාදහම තුළ සිදුවන ක්‍රිsයාවන්වලට රටාවක්‌ ඇත. ඒවා තීරණය කරන්නේ පෘථිවියේ පරිභ්‍රමනය මතය. මෝසම් සුළං මගින් වැසි ලැබෙන්නේ එක්‌තරා රටාවකටය. සංචාරක කර්මාන්තය දියුණු කිරීsම සඳහා හෝ ගොවිතැන දියුණු කිරීම පිණිස ඊසාන දිගින් හමන මෝසම් සුළංවල කාලය අපට ඕනෑ විදිහට වෙනස්‌ කළ නොහැකිය. සංචාරක කර්මාන්තය දියුණුq කිරිම පිනිස අලින්ගේ ගහනය අපට ඕනෑ විදිහට වෙනස්‌ කිරීමටද නොහැකිය. සංචාරක කර්මාන්තය නිසා ලැබෙන ආර්ථික වාසි වැඩි කර ගැනීම පිණිස සීගිරියෙන් බඹරුන් පන්නා දැමීමද කළ නොහැකිය.
මෝසම් සුලංවල කාලය හෝ අලින්ගේ ගහනය හෝ සීගිරියේ බඹරුන්ගේ පැමිණීම තීරණය කිරීමට මිනිසාට හැකියාවක්‌ නැත. සොබාදහමේ ක්‍රිsයාවන් පාලනය කිරීමට හැකියාවක්‌ මිනිසාට නැති බව අවධාරණය කළ යුතුව ඇත. සොබාදහමේ ක්‍රිsයාවන් සහ රටාවන් වෙනස්‌ කිරීමට උත්සාහ කිරීමේදී සිදුවන්නේ අප නොසිතූ විරූ දේවල් සිදුවීමය. අලි මිනිස්‌ ගැටුම හොඳම උදාහරණය වේ.
මිනිසාට නොපෙනෙන සම්බන්ධතාවයන් බොහොමයක්‌ සොබාදහම තුළ ඇත. බඹරුන් සහ කුඹලුන් අතරද එවැනි සම්බන්ධතාවක්‌ ඇත. කුඹලුන්ගේ ගහනය පාලනය කිරීමේ හැකියාවක්‌ බඹරුන්ට ඇත. බඹරුන් ඉවත් කළ හොත් කුඹලුන්ගේ ගහනය වැඩි වීම මෙම සම්බන්ධයේ ප්‍රතිඵලයයි. කුඹලුන් ගෙවල් හදා ගන්නේ මැටි වලිනි. ඉතා සිනිදු පස්‌ කුඹල් කෙල සමග මිශ්‍ර කරන කුඹලා මැටි බෝල සාදා තම ගෙය හදාගනී. මෙම සිද්ධාන්තය අනුව සීගිරියේ බඹරුන් ඉවත් කළ හොත් දැනට එහි සිටින කුඹලුන්ගේ ගහනය වැඩි වෙයි. ඒ සමගම ගෙවල් සාදා ගැනීම සඳහා සිනිදු පස්‌ සහිත සියලුම ස්‌ථාන පාවිච්චි කිරීමට කුඹලුන් පෙළඹෙනු ඇත. කැටපත් පවුර වඩාත්ම සුදුසු ස්‌ථානය බවට පත් වේවි. එහි ඇත්තේ ඉතා සිනිදු පස්‌ අංශු සහ හොඳින් ඇඹරූ වී පොතුය. පෙර වසරක සිදුවූ ආකාරයටම සීගිරි බිතුසිතුවම් සහිත කැටපත් පවුරේ ඇති බදාමයෙන් කුඹලුන් මැටි රුගෙන යාවි. කාලයත් සමග කැටපත් පවුරේ ඇති බදාමය කුඹල් ගෙවල්වල බිත්ති බවට පත් වේවි. අවසානයේදී සංචාරකයන්ට බැලීමට ඉතිරි වන්නේ සීගිරි සිතුවම් සහ කැටපත් පවුරක්‌ නොමැති සීගිරිය ගල් පර්වතය පමණි.
බඹරුන් පන්නා දැමීමේ අනෙක්‌ අලාභය මීටත් වඩා භයානකය. එය මෙසේ පැහැදිලිs කල හැකිය. බඹරුන් ආහාරයට ගන්නේ මල් පැනි සහ මල් රේණුය. බඹරුන් මලින් මලට ඉගිල ගොසින් පැනි සහ රොන් ලබා ගන්නා විට පරාගනය නමැති ක්‍රියාව ඉබේම සිදුවෙයි. ගස්‌වල ගෙඩි හට ගන්නේ පරාගනය සිදුවන නිසාය. පරාගනය සිදුවන්නේ සුළඟ සහ සතුන් මගිනි. සුළඟ මගින් පරාගනය සිදු වන්නේ පරිණාමයෙන් පහත් තෘණ වැනි ශාක වලය. පරිණාමයෙන් උසස්‌ ශාක ලෙස හඳුන්වන එළවළු සහ පලතුරු ශාකවල පරාගනය සිදුවන්නේ මී මැස්‌සන් බඹරුන් සමනලයින් සහ වවුලන් අතිනි. පරාගනයට උපකාරි වන සතුන් අතරින් වඩා වැදගත් තැනක්‌ හිමි වන්නේ බඹරුන් හටය. සීගිරියේ බඹර වද 20ක්‌ පමණ ඇත. මෙම වද 20 හි බඹරුන් ලක්‌ෂ ගණනක්‌ ජීවත් වෙති. බඹරුන් පන්නා දැමීමෙන් පසු ඔවුන් අතින් සිදුවූ පරාගන ක්‍රියාව නැවතී ගෙඩි හට ගැනීමේ ක්‍රියාවද නවතින්නේය. එවිට එළවළු සහ පලතුරුවල අස්‌වැන්න ද සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ බසින්නේය.
එබැවින් දැනට ලැබෙන ප්‍රතිලාභවලින් සතුටු වී බඹරුන් සහ සංචාරකයින් අතර ගැටුම් ඇතිවන කාලය පිළිබඳව අවධානය යොමු කොට එම කාලය තුළදී සංචාරකයන් සඳහා සීගීරිය වසා තැබීම බඹරුන් ඉවත් කිරීsමට වඩා ක්‍රියාවක්‌ බව අවධාරණය කළ යුතු වන්නේය. එසේ කිරීමෙන් සීගිරියේ ඇති කැටපත් පවුරත් සීගිරි චිත්‍රත් සංචාරක කර්මාන්තයත් කෘෂිකර්මාන්තයත් වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ සීගිරියේ තිබූ අභිමානයත් රැක ගත හැකි වන්නේය.

ආචාර්ය වසන්ත වැලිඅංග

http://www.divaina.com/2012/07/10/feature06.html